ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත තීරණාත්මක විස්සයි20 තරගයට පෙර ඕස්ට්‍රේලියානු සංචිතයේ විශේෂ වෙනසක් සිදු කර තිබේ. ආබාධයකට ලක්ව ඇති වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් වෙනුවට ප්‍රබල පිතිකරු ස්ටීව් ස්මිත් කණ්ඩායමට ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තාක්ෂණික කමිටුව අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව ස්ටීව් ස්මිත් මේ වන විටත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ එක්වීම සඳහා මහනුවර බලා ගොස් ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, අද පැවැත්වෙන තරගයේ අවසන් එකොළොස් දෙනා අතරට ස්ටීව් ස්මිත් ඇතුළත් කරන්නේද යන්න පිළිබඳව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැත. පන්දු යවන්නෙකු වෙනුවට පිතිකරුවෙකු කැඳවීම තුළින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උපායමාර්ගික වෙනසක් පෙන්නුම් කරන නමුත්, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පවතින තත්ත්වය අනුව ඔවුන්ගේ අවසන් තීරණය කුමක් වනු ඇත්ද යන්න ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානයට යොමු වී තිබේ.














