ගණේමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් සහ ‘අයිස්’ (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාර්ග බාධකයක් යොදා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 470ක් සහ හෙරොයින් ග්‍රෑම් 230ක් සොයාගත් බව ආරක්ෂක අංශ පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 සහ 26 යන වයස්වල පසුවන බොල්ලත සහ ගණේමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවන අතර, මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන පුද්ගලයින් සහ බෙදාහැරීමේ ජාලයන් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට කටයුතු කරමින් සිටියි. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














