ලෝකයේ ප්‍රධානතම බලශක්ති ධමනිය ලෙස සැලකෙන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන සමුද්‍රීය ප්‍රවාහන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ වී තිබේ. සාමාන්‍යයෙන් දිනකට වාණිජ නැව් 138ක් පමණ යාත්‍රා කරන මෙම උපායමාර්ගික කලාපය හරහා මේ වන විට ගමන් කරන්නේ දිනකට නැව් 5ක් වැනි අතිශය සුළු ප්‍රමාණයක් බව වාර්තා වේ. පෙබරවාරි 28 වනදා සිට මේ දක්වා අවම වශයෙන් වාණිජ නැව් 16කට ප්‍රහාර එල්ල වී තිබීම මෙම දැඩි පසුබෑමට ප්‍රධාන හේතුව වී ඇති අතර, ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකකට වගකියන මෙම මුහුදු තීරය නිහඬ වීම ගෝලීය සැපයුම් දාමයට එල්ල වූ මරු පහරක් ලෙස සැලකේ.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම මුහුදු සන්ධිය අවහිර කර ඇති අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝක බලශක්ති වෙළඳපොළ දැඩි අස්ථාවරත්වයකට පත්ව ඇත. පෙබරවාරි 28 වනදා යුදමය වාතාවරණය ආරම්භ වීමෙන් පසු ගෝලීය තෙල් මිල 40%ක සුවිශාල වර්ධනයක් පෙන්නුම් කළ අතර, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල බැරලයකට ඩොලර් 106 සීමාව ඉක්මවා ගොස් මේ වන විට ඩොලර් 104.63ක මට්ටමේ පවතී. මෙම තත්ත්වය ලෝක ආර්ථික වර්ධනය මන්දගාමී වීමට සහ උද්ධමනය පාලනය කළ නොහැකි ලෙස ඉහළ යාමට බරපතල අවදානමක් මතු කර තිබේ.
වත්මන් අර්බුදය හමුවේ ඇමෙරිකානු නාවික හමුදාව සෘජුව මැදිහත් වීමෙන් වැළකී සිටින අතර, ට්‍රම්ප් පරිපාලනය දැනට අනුගමනය කරන්නේ නිරීක්ෂණාත්මක පිළිවෙතකි. කෙසේ වෙතත්, මෙම ප්‍රමාදය හේතුවෙන් පවතින අවදානම තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව විදේශ වාර්තා පෙන්වා දෙයි. ගෝලීය ආර්ථිකයේ ස්ථාවරත්වය තීරණය කරන තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇති හෝමූස් සමුද්‍ර සන්ධියේ මෙම අවහිරතාව ලෝක බලවතුන්ගේ අවධානයට දැඩි ලෙස යොමු වී ඇත.














