හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය අප්‍රිකානු රටවල ආහාර සුරක්ෂිතතාවයට දැඩි තර්ජනයක් එල්ල කරයි
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන වෙළඳ කටයුතු ඇනහිටීම අප්‍රිකානු රටවල කෘෂිකර්මාන්තයට සහ ආහාර සැපයුමට දැඩි බලපෑමක් එල්ල කරන බව ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති. ලොව නයිට්‍රජන් පදනම් කරගත් පොහොර නිෂ්පාදනයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන ගල්ෆ් කලාපයෙන් අප්‍රිකාවට ලැබෙන පොහොර සැපයුම අඩාල වීම මීට ප්‍රධානතම හේතුව වී තිබේ. එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන නියෝජිතායතනය (UNCTAD) පෙන්වා දෙන පරිදි සුඩානයේ පොහොර අවශ්‍යතාවයෙන් 54% ක් ද, සෝමාලියාවේ 30% ක් සහ කෙන්යාවේ 26% ක් ද සපයා ගනු ලබන්නේ මෙම මුහුදු මාර්ගය හරහා බැවින් පොහොර මිල ඉහළ යාම සහ සැපයුම් දාම බිඳවැටීම නිසා අප්‍රිකානු කලාපයේ ආහාර නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති අතර එය එදිනෙදා ජීවන වියදම දරාගත නොහැකි මට්ටමකට පත් කර ඇත.
ලෝක වෙළඳපලේ ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාම අප්‍රිකානු ආර්ථිකයන්ට දරාගත නොහැකි පීඩනයක් එල්ල කර ඇති පසුබිමක කෙන්යාව වැනි රටවල් අප්‍රේල් මස අවසානය දක්වා අවශ්‍ය ඉන්ධන තොග කලින්ම ඇණවුම් කරමින් අඛණ්ඩ සැපයුමක් සහතික කිරීමට පියවර ගෙන තිබේ. ටැන්සානියානු ජනාධිපතිනිය එරට බලශක්ති අමාත්‍යාංශය වෙත උපදෙස් දී ඇත්තේ උපායමාර්ගික ඉන්ධන සංචිත වහාම ශක්තිමත් කරන ලෙස වන අතර ඉතියෝපියාව ජනතාවට එල්ල වන ආර්ථික පීඩනය අවම කිරීම සඳහා විශේෂ ඉන්ධන සහනාධාරයක් හඳුන්වා දී ඇත. එසේම සැම්බියාව විසින් ඉන්ධන හිඟයක් ඇති කරමින් තොග රැස් කරන සිල්ලර වෙළෙන්දන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ද අනතුරු අඟවා තිබේ.
අප්‍රිකානු රටවල් බොහොමයක් විදේශීය වෙළඳපල මත යැපීම, ඉහළ ණය බර සහ දුර්වල යටිතල පහසුකම් හේතුවෙන් මෙවැනි ගෝලීය කම්පන හමුවේ වඩාත් අවදානමට ලක්වන බව විශේෂඥයෝ වැඩිදුරටත් පවසති. කෙසේ වෙතත් නයිජීරියාව සහ ඇන්ගෝලාව වැනි ඉන්ධන අපනයනය කරන රටවලට ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහළ යාම හරහා යම් වාසියක් අත්වීමේ ඉඩකඩක් ද පවතී. මෙම ගැටලුව හුදෙක් ඉන්ධන සහ පොහොරවලට පමණක් සීමා නොවන අතර කෙන්යාව වැනි රටවල මස්, තේ සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය මැදපෙරදිගට අපනයනය කිරීමේ කටයුතු ද මේ වන විට අඩාල වී තිබීම සමස්ත ආර්ථිකයටම බලපාන කරුණක් වී ඇත.














