වවුනියාව විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණු ITAM–32 ජාත්‍යන්තර සමුළුවේදී ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා අනාගත ශ්‍රී ලංකාව පිළිබඳ ඉතා තීරණාත්මක දැක්මක් ඉදිරිපත් කළේය. “කෘත්‍රිම බුද්ධිය (AI) යුගයේ තාක්ෂණික ව්‍යවසායකත්වය” යන තේමාව යටතේ පැවති මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වූ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ වත්මන් ගෝලීය ආර්ථිකය AI කේන්ද්‍ර කරගත් දැවැන්ත පරිවර්තනයකට ලක්ව ඇති බවත් එහිදී නවෝත්පාදනය ප්‍රාථමික මුදල් ඒකකය ලෙස ක්‍රියා කරන බවත්ය. කෘත්‍රිම බුද්ධිය යනු හුදෙක් ප්‍රවණතාවක් නොව අතීතයේ විදුලිය හෝ අන්තර්ජාලය මෙන් ලෝකය උඩුයටිකුරු කරන පරිවර්තනීය බලවේගයක් බව පෙන්වා දුන් ඔහු වලාකුළු පරිගණකකරණය සහ දත්ත විශ්ලේෂණය වැනි නවීන තාක්ෂණයන් භාවිතා කරන ආරම්භක ව්‍යාපාර දිරිමත් කිරීම ජාතික අවශ්‍යතාවයක් බව ද සඳහන් කළේය. සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය සහ මූල්‍ය වැනි ක්ෂේත්‍රවල ඵලදායිතාව යළි හැඩගැස්වීමට AI තාක්ෂණයට ඇති හැකියාව පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා ස්වයංක්‍රීයකරණය නිසා රැකියා අහිමිවීමේ අවදානමට පිළියම වන්නේ ශ්‍රම බලකාය නව කුසලතාවන්ගෙන් සන්නද්ධ කිරීම බව පවසා සිටියේය.
තාක්ෂණයේ ප්‍රතිලාභ නාගරික ප්‍රදේශවලට පමණක් සීමා නොවී ග්‍රාමීය ව්‍යවසායකයින්, කාන්තාවන් සහ තරුණ නවෝත්පාදකයින් වෙත ද සමානව ගලා යා යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා දත්ත යටිතල පහසුකම් යනු වර්තමානයේ මාර්ග සහ වරායවලට සමානව වැදගත් වන බව ද පැවසීය. වගකිවයුතු දත්ත පාලනය, සයිබර් ආරක්ෂාව සහ සදාචාරාත්මක AI රාමුවක් ස්ථාපිත කිරීම රජයේ ප්‍රමුඛතාවයක් වන අතරම නාගරික හා ග්‍රාමීය ඩිජිටල් පරතරය අඩු කිරීම මගින් සියලු දෙනාට සමාන අවස්ථා සලසා දීම මෙහි ප්‍රධාන අරමුණකි. අවසානයේ ඔහු අවධාරණය කළේ ජාතික ප්‍රගතිය මැනිය යුත්තේ හුදෙක් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයෙන් පමණක් නොව තාක්ෂණය මගින් සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වන ප්‍රමාණයෙන් බවයි.
















