යාපනය ශික්ෂණ රෝහල් පරිශ්‍රය තුළ බුලත් විට භාවිතය සහ කෙළ ගැසීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. රෝහල් පරිශ්‍රය පිරිසිදුව හා සනීපාරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි. රෝහල ඉතා කාර්යබහුල ස්ථානයක් වන අතර එහි පිරිසිදුකම වෙනුවෙන් සියයකට අධික සනීපාරක්ෂක සේවකයින් පිරිසක් දිවා රෑ සේවය කරන බවත්, ඇතැම් පිරිස් බුලත් විට කා කෙළ ගැසීම නිසා රෝහල් පරිසරය අපිරිසිදු වන බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
මෙම තහනම රජයේ රෙගුලාසි සහ පාරිසරික ආරක්ෂණ මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියාත්මක වන්නකි. මින් ඉදිරියට මෙම නියෝග උල්ලංඝනය කරමින් රෝහල් පරිශ්‍රය තුළ බුලත් විට භාවිත කරන හෝ කෙළ ගසන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දීමටත්, ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ පුවරු රෝහල පුරා සවි කර ඇති අතර, රෝහල සැමගේ පොදු දේපළක් බැවින් එය පිරිසිදුව තබා ගැනීමට සහයෝගය දක්වන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














