ලොව ප්‍රමුඛතම ඇමෙරිකානු වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගමක් වන ස්ට්‍රයිකර් (Stryker) ආයතනය පසුගිය බදාදා (මාර්තු 11) දරුණු සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති අතර, මෙහි වගකීම ඉරානයට සම්බන්ධ ‘හන්දලා’ (Handala) නම් හැකර් කණ්ඩායම විසින් භාරගෙන තිබේ. මෙම ප්‍රහාරය හේතුවෙන් සමාගමේ ගෝලීය මෙහෙයුම් පද්ධති, සර්වර් සහ ජංගම උපාංග 200,000 කට අධික ප්‍රමාණයක් අක්‍රිය වී ඇති බව වාර්තා වේ.
ඇමෙරිකානු වේලාවෙන් මධ්‍යම රාත්‍රියට ආසන්නව ආරම්භ වූ මෙම ප්‍රහාරයේදී, සේවකයන් බලා සිටියදීම ඔවුන්ගේ පරිගණක පද්ධති එකින් එක අක්‍රිය වී ඇති අතර විශාල දත්ත ප්‍රමාණයක් (ටෙරාබයිට් 50 ක් පමණ) මකා දමා (Wipe) ඇති බව පැවසේ. ඇතැම් කාර්යාලවල පරිගණකවලින් 95% ක්ම මෙලෙස දත්ත මැකී යාමට ලක්ව ඇත. මෙම පුවතත් සමඟ ස්ට්‍රයිකර් සමාගමේ කොටස් මිල (Shares) නිව්යෝර්ක් කොටස් වෙළඳපොළේ 4.5% කින් පමණ පහත වැටී තිබේ.
‘හන්දලා’ හැකර් කණ්ඩායම පවසන්නේ, ඇමෙරිකාව විසින් ඉරානයේ පාසලකට එල්ල කළ බව කියන බෝම්බ ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස මෙම සයිබර් ප්‍රහාරය දියත් කළ බවයි. ස්ට්‍රයිකර් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙය රන්සම්වෙයාර් (Ransomware) ප්‍රහාරයක් නොවන බවත්, පද්ධති යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවත්ය. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය ලෝක වෛද්‍ය සැපයුම් දාමයට සහ සෞඛ්‍ය සේවාවන්ට බරපතළ තර්ජනයක් එල්ල කළ හැකි බව විචාරකයෝ පෙන්වා දෙති.














