සුඩානයේ පවතින දරුණු සිවිල් යුද්ධය හේතුවෙන් එරට මිලියන සංඛ්‍යාත ජනතාවක් දිනකට එක් ආහාර වේලකින් පමණක් ජීවත් වන බව රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් නිකුත් කළ වාර්තාවක දැක්වේ. සුඩාන හමුදාව සහ නිල නොවන හමුදා කණ්ඩායම් (RSF) අතර පවතින ගැටුම් හේතුවෙන් ලොව දරුණුතම මානුෂීය අර්බුදයක් නිර්මාණය වී ඇති අතර උතුරු දාර්ෆුර් (North Darfur) සහ දකුණු කෝර්ඩෝෆාන් (South Kordofan) යන ප්‍රදේශ මෙයින් දරුණු ලෙස පීඩාවට පත්ව ඇත.
බොහෝ පවුල් දින ගණනාවක් ආහාර නොමැතිව සිටින අතර ජීවත් වීම සඳහා කොළ වර්ග සහ සත්ව ආහාර පවා අනුභව කිරීමට ඔවුන්ට සිදුව ඇති බව එම වාර්තාවේ සඳහන් වේ. සුඩාන රජය සාගින්නක් පවතින බව ප්‍රතික්ෂේප කළ ද එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව එරට ජනගහනයෙන් 61.7% ක් එනම් මිලියන 28.9 ක ජනතාවක් උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයෙන් පීඩා විඳිති. කාන්තාවන් සහ කුඩා දරුවන් මෙහිදී වඩාත් අවදානමට ලක්ව ඇති අතර පස් හැවිරිදි දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය සාගත මට්ටම ද ඉක්මවා ගොස් තිබේ.














