සුඩාන සිවිල් යුද්ධයේ තීරණාත්මක හැරවුමක් සනිටුහන් කරමින් එරට රජයේ හමුදා (SAF) විසින් උතුරු කොර්ඩොෆාන් ප්‍රාන්තයේ දෙවන විශාලතම නගරය වන බාරා (Bara) නගරයේ බලය යළි අත්පත් කරගෙන තිබේ. රිපීඩ් සපෝට් ෆෝසස් (RSF) පරාජය කරමින් දියත් කළ මෙම මෙහෙයුමේදී සටන්කාමීන් රැසක් මියගොස් ඇති අතර ඔවුන් සතු සටන් වාහන 32ක් විනාශ කිරීමටත් තවත් වාහන 10ක් අත්පත් කර ගැනීමටත් රජයේ හමුදා සමත්ව ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. බ්‍රහස්පතින්දා අලුයම සිට එල්ල වූ දැඩි ගුවන් සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ සටන්කාමීන් පසුබැස ඇති අතර මෙම ජයග්‍රහණයත් සමඟ උතුරු කොර්ඩොෆාන් අගනුවර වන එල්-ඔබේඩ් (el-Obeid) නගරයේ ආරක්ෂාව තහවුරු කිරීමට ද රජයේ හමුදාවන්ට හැකි වී තිබේ. පසුගිය මාර්තු මාසයේදී අගනුවර වන කාර්ටූම් ප්‍රදේශයෙන් පලවා හැරීමෙන් පසු RSF කණ්ඩායම කොර්ඩොෆාන් සහ දාෆුර් කලාප දෙසට සිය මෙහෙයුම් මාරු කර තිබූ අතර මෙම නවතම පසුබෑම ඔවුන්ගේ යුද ශක්තියට එල්ල වූ ප්‍රබල පහරක් ලෙස සැලකේ.














