ඉංග්‍රීසි ඕඩය (English Channel) හරහා කුඩා බෝට්ටුවකින් බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පුද්ගලයන් සිව්දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් 27 හැවිරිදි සුඩාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බ්‍රිතාන්‍යයේ ජාතික අපරාධ ඒජන්සිය (NCA) පවසන්නේ මිනිස් ජීවිත අනතුරේ හෙළීමේ සැකය මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි. පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රංශයේ කැලේ (Calais) වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී බෝට්ටුවකට ගොඩවීමට උත්සාහ කිරීමේදී පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී තවත් පුද්ගලයන් 38 දෙනෙකු ප්‍රංශ වෙරළාරක්ෂක අංශ විසින් බේරාගෙන ඇති අතර, තවත් 74 දෙනෙකු එම බෝට්ටුවෙන්ම බ්‍රිතාන්‍යය බලා යාත්‍රා කර තිබේ. සැකකරු කෙන්ට් (Kent) හි පිහිටි මැන්ස්ටන් මධ්‍යස්ථානයේදී අත්අඩංගුවට ගත් බවත්, ඔහු මේ වන විට පොලිස් භාරයේ පසුවන බවත් වාර්තා වේ. ප්‍රංශ නීති අංශ සහ බ්‍රිතාන්‍යයේ ජාතික අපරාධ ඒජන්සිය එක්ව මෙම ඛේදනීය සිදුවීමට තුඩු දුන් කරුණු පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බ්‍රිතාන්‍ය සංක්‍රමණ අමාත්‍ය මයික් ටැප් ප්‍රකාශ කළේ ඉංග්‍රීසි ඕඩය තුළ සිදුවන සෑම මරණයක්ම ඛේදවාචකයක් බවයි. මෙවැනි අනතුරුදායක ගමන් මාර්ග ඔස්සේ මිනිසුන් ප්‍රවාහනය කරන ජාවාරම්කරුවන් නීතිය හමුවට පැමිණවීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ අඛණ්ඩව කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.













