ඇමෙරිකාව ඇතුළු ලෝකයේ බලවත් රටවලට මෙන්ම ජනාධිපති කොමිෂන් සභා පහකට පවා සොයා ගැනීමට නොහැකි වූ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සොයාගෙන තිබේ නම්, එම තොරතුරු සාක්ෂි සහිතව වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා අද (අප්‍රේල් 04) රත්නපුරේදී ප්‍රකාශ කළේය. රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පවත්වන ලද මහජන පෙත්සම් ව්‍යාපාරයකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, වත්මන් පාලනය පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඇල්ලීමේ “බයිස්කෝප්” එකක් ආරම්භ කර ඇති බවයි.
කාදිනල්තුමන් සතුටු කිරීමේ අරමුණින් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගෙන ඇති බවත්, ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඔහු ශ්‍රී ලංකාවේ පවා නොසිටි බවත් බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දුන්නේය. මීට පෙර සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ද ඔහු සියල්ල හෙළි කරනු ඇතැයි බලධාරීන් පැවසුවද, වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන සිටියත් පාස්කු ප්‍රහාරයට අදාළ කිසිදු චෝදනාවක් ඔහුට එල්ල කිරීමට නොහැකි වූ බව ඔහු සිහිපත් කළේය. දේශපාලන බලපෑම් මත පලිගැනීම් සිදුකරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව මෙම ප්‍රහාරයට සම්බන්ධ කිරීමට ගත් උත්සාහයන් මෙතෙක් අසාර්ථක වී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ දේශපාලන වුවමනාවන් මත මෙහෙයවීම නතර කළ යුතු බවත්, ඇත්ත වශයෙන්ම මහ මොළකරුවෙකු සොයාගෙන තිබේ නම් එය රටට හෙළි කරන ලෙසත් සුගීශ්වර බණ්ඩාර මහතා රහස් පොලිසියට අභියෝග කළේය. රත්නපුර නගරයේදී පැවැති මෙම විරෝධතාවයට විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, බුද්ධි අංශ ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම හරහා ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන බවට ද එහිදී අදහස් පළ විය.














