සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී අද (11) දහවල් 12:11 ට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව පොම්පරිප්පු, අනුරාධපුරය, මිහින්තලේ, ගලෙන්බිඳුණුවැව, අග්බෝපුර සහ සේරුනුවර යන ප්‍රදේශවලට හිරු සෘජුවම ඉහළින් පවතිනු ඇත. අප්‍රේල් 5 සිට 15 දක්වා කාලය තුළ හිරු මෙලෙස දිවයිනට ඉහළින් ගමන් කරයි.
කාලගුණ තත්ත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ සහ ඌව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2:00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.














