ජනප්‍රිය යූටියුබ් (YouTuber) තරුවක් වන ඇල්විෂ් යාදව් (Elvish Yadav) සිය වීඩියෝ දර්ශන සඳහා සර්පයන් සහ සර්ප විෂ භාවිත කිරීම සම්බන්ධයෙන් පවතින නඩුව අද (18) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනුණි. එහිදී විනිසුරු මඩුල්ල විසින් ඔහුට සහ ඔහුගේ නීතිඥයන්ට දැඩි දෝෂාරෝපණ එල්ල කරන ලදී.
වනජීවී ආරක්ෂණ පනත (Wildlife Protection Act) යටතේ සර්පයන් වීඩියෝ සඳහා භාවිත කිරීමට ලබාගෙන ඇති බව කියන අවසර පත්‍රවල වලංගුභාවය පරීක්ෂා කරන ලෙස අධිකරණය උත්තර ප්‍රදේශ් රජයට නියෝග කළේය. “ඔබ වැනි ජනප්‍රිය පුද්ගලයෙකුට හඬක් නැති සතුන්ව පාවිච්චි කිරීමට ඉඩ දුන්නොත් එයින් සමාජයට යන්නේ වැරදි පණිවිඩයක්” යැයි විනිසුරු මඩුල්ල මෙහිදී අවධාරණය කළහ.
වීඩියෝවක් සඳහා සර්පයන් තබා ගැනීමට අවසර තිබුණ ද, එම සර්පයන්ගෙන් විෂ ලබා ගැනීමට කිසිදු අවසරයක් දිය නොහැකි බව අධිකරණය පෙන්වා දුන්නේය. “ඔබට රිසි දේ කිරීමට ඔබට නොහැකියි. සර්පයෙකු දුටුවත් ඔබ කළ යුත්තේ වනජීවී නිලධාරීන්ට දැනුම් දීම මිස උන් අල්ලාගෙන සෙල්ලම් කිරීම නොවෙයි” යැයි විනිසුරුවරුන් පවසා සිටියහ.
ඇල්විෂ් යාදව්ගේ නීතිඥවරිය තර්ක කළේ ඔහු ළඟ කිසිදු මත්ද්‍රව්‍යයක් නොතිබූ බවත්, ඔහු කිසිවක් පරිභෝජනය කර නොමැති බවත්ය. එහෙත් මත්ද්‍රව්‍ය සහ මනෝවර්තක ද්‍රව්‍ය (NDPS) පනත යටතේ ඔහුට එරෙහිව පවතින චෝදනා සහ සාද සඳහා සර්ප විෂ සැපයීම පිළිබඳ කරුණු තවදුරටත් විමර්ශනය කළ යුතු බව අධිකරණයේ අදහස විය.
මෙම අවසර පත්‍ර පිළිබඳ කරුණු තහවුරු කර ගැනීමට රජයේ නීතිඥයන්ට කාලය ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, නඩුව ලබන මාර්තු මාසය දක්වා කල් තැබීමට තීරණය කළේය.














