ඉන්දීය ණය පහසුකම යටතේ මෙරටට ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේදී සිදුවූ මහා පරිමාණ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් වැරදිකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
මෙම නීතිවිරෝධී ගනුදෙනුව හරහා මෙරට පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීරණය කළ අධිකරණය, වගඋත්තරකරුවන් හට රුපියල් මිලියන 275ක මුදලක් රජයට ගෙවන ලෙස නියෝග කළේය. ඒ අනුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් මිලියන 75ක් ද, හිටපු ලේකම් එස්.ජේ.එස්. චන්ද්‍රගුප්ත රුපියල් මිලියන 50ක් ද, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න රුපියල් මිලියන 50ක් ද, එහි හිටපු විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර රුපියල් මිලියන 50ක් සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන රුපියල් මිලියන 50ක් වශයෙන් මෙම වන්දි මුදල් ගෙවිය යුතුය.
රට තුළ ඖෂධ හිඟයක් පවතින බව පවසමින් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා ලියාපදිංචි නොවූ සමාගමකින් ඖෂධ ගෙන්වීමට මොවුන් කටයුතු කර තිබුණද, එවැනි ඖෂධ හිඟයක් එකල නොතිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිසි ලේඛන පරීක්ෂාවකින් තොරව මෙම ඖෂධ නිදහස් කර ඇති අතර, එම ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳව ද බරපතළ සැකයක් පවතින බව අධිකරණය අවධාරණය කළේය. මෙම සම්පූර්ණ දූෂණ ක්‍රියාවලිය පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ද නියෝග කර ඇත.














