එක්වරක් පමණක් භාවිත කර බැහැර කරන පොලිතින් මලු සඳහා විධිමත් බද්දක් හඳුන්වා දෙන ලෙසත්, පරිසර හිතකාමී විකල්ප ප්‍රවර්ධනය කිරීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. පරිසර යුක්ති කේන්ද්‍රය සහ පරිසරවේදීන් වන හේමන්ත විතානගේ සහ දිලේනා පතිරගොඩ යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. මිනිත්තු කිහිපයක් පමණක් භාවිත කරන පොලිතින් මලු පරිසරයේ විනාශ නොවී වසර 400 සිට 1,000 දක්වා කාලයක් පවතින අතර, ඒවා මගින් නිර්මාණය වන මයික්‍රොප්ලාස්ටික් මගින් පරිසර පද්ධති දූෂණය වන බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි. ප්ලාස්ටික් හා පොලිතින් පිළිස්සීමේදී නිකුත් වන විෂ වායු මගින් විවිධ රෝගාබාධ වැළඳීමේ අවදානම සහ උණුසුම් ආහාර ඇසිරීමේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින් සෞඛ්‍යයට සිදුවන හානිය මෙහිදී අවධාරණය කර ඇත. 2006 සහ 2017 වසරවලදී ප්ලාස්ටික් පාලනයට නීති හඳුන්වා දුන්නද, ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ගැටලුව තවදුරටත් උග්‍ර වී ඇති බව පවසන පෙත්සම්කරුවන්, දැනට පවතින ක්‍රමවේදය වෙනුවට 2008 අංක 26 දරන පාරිසරික සංරක්ෂණ බදු පනත යටතේ විධිමත් බද්දක් පැනවිය යුතු බව තර්ක කරති. මෙමගින් පිරිසිදු පරිසරයක් භුක්ති විඳීමට පුරවැසියන්ට ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය වන බව පවසමින්, පරිසර හිතකාමී ඇසුරුම් සඳහා විධිමත් පද්ධතියක් සකස් කරන ලෙසත් ප්ලාස්ටික් බද්දෙන් ලැබෙන මුදල් පරිසර සංරක්ෂණ අරමුදලකට බැර කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.














