අධිකරණයේ පිහිට පතා පැමිණෙන කුමන තරාතිරමක පුද්ගලයෙකුට වුවද උපරිම ගෞරවයෙන් යුතුව සැලකීම අධිකරණ ආරක්ෂක නිලධාරීන්ගේ වගකීමක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධිකරණ ආරක්ෂක III වන ශ්‍රේණියේ තනතුරු සඳහා අලුතින් බඳවා ගත් නිලධාරීන් 69 දෙනෙකු දැනුවත් කිරීම සඳහා Zoom තාක්ෂණය ඔස්සේ පැවැති විශේෂ වැඩසටහනකට එක්වෙමිනි. යුක්තිය සහ සාධාරණය වෙනුවෙන් අධිකරණ පරිශ්‍රයට පැමිණෙන සෑම පුරවැසියෙකුටම තමන් සුරක්ෂිත බවත් තමන්ට ගරු කරන බවත් හැඟී යන ආකාරයේ විනයගරුක සහ සාධාරණ පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම මෙම නිලධාරීන් සතු වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
රාජ්‍ය සේවයේ වෘත්තීයභාවය සහ ස්වාධීනත්වය යළි තහවුරු කිරීමට වත්මන් රජය කැපවී සිටින බව පැවසූ අමාත්‍යවරයා, අතීතයේදී දේශපාලන පීඩනයන් හෝ පෞද්ගලික හිතවත්කම් මත රාජ්‍ය නිලධාරීන්ට එල්ල වූ බලපෑම් හේතුවෙන් බිඳ වැටුණු මහජන විශ්වාසය යළි ගොඩනැගීම තම අරමුණ බව සඳහන් කළේය. දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් අතර පැවතිය යුත්තේ එකිනෙකාව පාලනය කිරීමක් නොව ජනතාව වෙනුවෙන් වූ සහයෝගීතාවයක් බවත්, දැන් රාජ්‍ය නිලධාරීන්ට කිසිදු බාහිර බලපෑමකින් තොරව නීතියට අනුකූලව ජනතා අවශ්‍යතා වෙනුවෙන් සේවය කිරීමේ පූර්ණ නිදහස ලබා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. ගෝලීය වශයෙන් රට මුහුණ දී ඇති වත්මන් අභියෝගාත්මක තත්ත්වය හමුවේ වගකීම් සහගත පුරවැසියන් ලෙස තම රාජකාරිය ඉටු කරන ලෙස ද අමාත්‍යවරයා නව නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.














