වෛද්‍ය චමල් සංජීව සහ අරගල ක්‍රියාකාරී චානක බණ්ඩාර යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා එළඹෙන ජූලි මස 30 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) දින නියම කළේය.
මෙම පෙත්සමට අදාළ පසුබිම් පුවත මෙසේය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඉදිරිපිට පැවති විරෝධතාවකදී, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරුවෝ පවසති.
එම අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ මහේස්ත්‍රාත් අධිකරණ නඩුවෙන් ඔවුන් මේ වන විටත් නිදහස් කර ඇති බවයි. කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් අවස්ථාවේදී තම සේවාදායකයන්ට අමානුෂික ලෙස සලකා ඇති බැවින් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන්ගේ නීතිඥවරයා ඉල්ලා සිටියේය. ඒ අනුව දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ජූලි 30 වනදා පෙත්සම සලකා බැලීමට නියම කළේය.














