ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන ලද අතිශය ජනප්‍රිය ‘පිණිබර යාමේ සැවුලන් අඬලනවා’ නමැති ගීතය, එහි මුල් හිමිකරු වන ප්‍රවීණ ගී පද රචක ලූෂන් බුලත්සිංහල මහතාගේ කිසිදු අවසරයකින් තොරව භාවිත කරමින් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කළ බවට චෝදනා ලැබූ ‘ටොරානා ඩිස්ටිබුටර්’ (Torana Distributors) සමාගමට රුපියල් දශලක්ෂයක (ලක්ෂ 10ක) වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
කොළඹ වාණිජ මහාධිකරණය මඟින් මීට පෙර ලබා දී තිබූ මෙම වන්දි නියෝගය අභියෝගයට ලක් කරමින් ‘ටොරානා ඩිස්ටිබුටර්’ සමාගම විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව මහාධිකරණයේ මුල් තීන්දුව තවදුරටත් තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇත.
සමාගම විසින් ‘සඳකඩපහණ’ නමැති ඩීවීඩී (DVD) පටයකට මෙම ගීතය ඇතුළත් කර අවසරයකින් තොරව බෙදා හැරීම මඟින් ලූෂන් බුලත්සිංහල මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සෘජුවම අවභාවිත කර ඇති බව අධිකරණයේදී තහවුරු විය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලීප් නවාස්, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර සෙසු විනිසුරුවරුන්ගේ එකඟතාවය සහිතව තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ විනිසුරු දිලීප් නවාස් මහතා විසිනි.














