මෙරට බලශක්ති ප්‍රභවයන් අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන “සුරකිමු ලංකා” ජාතික වැඩසටහන අද (29) සිට නිල වශයෙන් ආරම්භ වේ. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් බලශක්ති සහ ඉන්ධන සැපයුමට එල්ල විය හැකි බාධා මෙන්ම, ඉදිරියේදී ඇතිවිය හැකි “එල්නීනෝ” කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණය ගෙන තිබේ. ජාතික බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් මහජනතාව සෘජුව දායක කරවා ගැනීම මෙහි ප්‍රධාන අපේක්ෂාව වන අතර මෙම වැඩසටහන ඉදිරි මාස පහක කාලයක් පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම පෙරදැරිව ක්‍රියාත්මක වන Clean Sri Lanka වැඩසටහන යටතේ, “සුරකිමු ලංකා – එකතු වෙමු – එළිය දෙමු” යන තේමාවෙන් මෙම ව්‍යාපෘතිය දියත් කෙරේ. මෙහිදී විශේෂයෙන්ම පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා වූ උපරිම විදුලි පරිභෝජන කාලසීමාව (Peak Hours) තුළ විදුලිය භාවිතය සීමා කිරීමට හෝ අධික විදුලිය වැයවන කාර්යයන් දිවා කාලයේදී සිදු කිරීමට ජනතාව පෙළඹවීම සිදු කරනු ඇත. මේ සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මෙන්ම සමස්ත මහජනතාවගේ සහභාගීත්වය රජය අපේක්ෂා කරයි.
මෙම වැඩසටහන මඟින් විදුලි පරිභෝජනය සඳහා කිසිදු තහංචියක් පැනවීමට අදහස් නොකරන අතර, සිදු කරනු ලබන්නේ ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කරමින් ඔවුන්ව ස්වේච්ඡාවෙන්ම බලශක්ති අරපිරිමැස්ම සඳහා දිරිගැන්වීමයි. එසේම මෙරට විදුලි උත්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් ජලාශ්‍රිතව සිදුවන බැවින්, ඉදිරියේදී මුහුණ දීමට සිදුවන කාලගුණික විපර්යාසයන් හමුවේ ජල පරිභෝජනය ද ඉතා අරපිරිමැස්මෙන් සිදු කළ යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කර සිටියි.














