හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් සංවිධානය කළ අත්සන් ලක්ෂයේ ජනතා පෙත්සමට අත්සන් තැබීම පසුගිය 14 වනදා මහරගම රණවිරු ස්මාරකය අබියසදී ආරම්භ විය. නව ජනතා පෙරමුණ විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වී සිටියහ. රජය විසින් සිදු කරනු ලබන මෙම අත්අඩංගුවට ගැනීම අනීතික ක්‍රියාවක් බවත්, එය වහාම නතර කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරයේ විමර්ශන සාර්ථක බව පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ මෙවැනි දක්ෂ රණවිරුවන් සිරගත කිරීමෙන් බවයි. සුරේෂ් සලේ වැනි බුද්ධි නිලධාරීන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමට සුවිශේෂී මෙහෙවරක් කළ පිරිසක් බව පෙන්වා දුන් ඔහු, මෙවැනි රණවිරුවන් අඳුරු සිරකුටිවල දැමීමෙන් වඩාත්ම සතුටු වන්නේ කොටි ඩයස්පෝරාව බව ද පවසා සිටියේය.
ආණ්ඩුවේ සැබෑ උත්සාහය සුරේෂ් සලේ මහතා හරහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ප්‍රකාශ ලබා ගැනීම බවට ද සුගීෂ්වර බණ්ඩාර මහතා චෝදනා කළේය. කෙසේ වෙතත් ආණ්ඩුවේ මෙම උත්සාහය සාර්ථක නොවන බවත්, ජනතා විරෝධය ප්‍රකාශ කෙරෙන මෙම මහජන පෙත්සම ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත භාරදීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














