2019 වසරේ සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වන විමර්ශනවල තුන්වන සැකකරු ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි නම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (05) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ පසුගිය පෙබරවාරි 25 වැනිදා අත්අඩංගුවට ගත් ඔහු, මේ වන විට දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බව කොළඹ මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවේ කරුණු දක්වමින් CID නිලධාරීන් ප්‍රකාශ කළහ. මෙම නම් කිරීම සිදු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පවතින්නේදැයි මහේස්ත්‍රාත්වරයා විමසූ අවස්ථාවේදී, මෙතෙක් සිදුකළ විමර්ශනවලින් ඒ සඳහා කරුණු අනාවරණය වී ඇතැයි විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළහ.
නැගෙනහිර පළාතේ හිටපු පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු තවත් දෙදෙනෙකු දැනටමත් මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර තිබේ. පාස්කු ප්‍රහාරයට පෙර සිදුවූ වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම සහ සයින්දමරුදු බෝම්බ පිපිරීම්වලට අදාළ සංවේදී තොරතුරු පදනම් කර ගනිමින් මෙම විමර්ශන ක්‍රියාත්මක වන බව ද CIDය අධිකරණයට දැනුම් දුන්නේය. රැඳවුම් භාරයේ පසුවන සැකකරු සම්බන්ධයෙන් නිරන්තර අධීක්ෂණයක පසුවන ලෙස ද අධිකරණය මෙහිදී නියෝග කර ඇති අතර විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වැඩිදුර වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.














