සූරියවැව, කෝන්කැටිආර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී සූදු පොළක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අද (11) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (10) රාත්‍රී 11.30ට පමණ සූරියවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී සූදුවෙහි නිරතව සිටි පිරිසක් විසින් නිලධාරීන්ට පහර දී රාජකාරියට බාධා කර ඇති බව වාර්තා වේ.
පහරකෑමට ලක්ව තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා සූරියවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිආර, ධර්මීගම සහ සූරියවැව ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. ඔවුන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සූරියවැව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















