කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු රහසිගත බුද්ධි තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී, රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුත් “තල්මස් අම්බර්” (Whale Ambergris) කිලෝග්‍රෑම් 09 යි ග්‍රෑම් 930 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අද (13) අත්අඩංගුවට ගෙන තිබේ. පොකුණුවිට, ඉඳිකඩහේන ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු ඉතා රහසිගතව මෙම දුර්ලභ ද්‍රව්‍යය ජාවාරම් කිරීමට සූදානම්ව සිට ඇති බව පොලිසිය පවසයි.
“තල්මස් වමනය” ලෙසින්ද හඳුන්වන මෙම ද්‍රව්‍යය ලෝකයේ මිල අධිකම සුවඳ විලවුන් වර්ග නිපදවීම සඳහා යොදාගන්නා අතර, ශ්‍රී ලංකාවේ වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ මෙය ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ. අත්අඩංගුවට ගත් අම්බර් තොගය විද්‍යාත්මක පරීක්ෂණ සඳහා රස පරීක්ෂක වෙත යොමු කිරීමටත්, සැකකරු අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිතය. මෙම අම්බර් තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 10 කට අධික විය හැකි බවට මූලිකව සැක කෙරේ.














