දෙහිවල, මුහුදු පාර ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ නීතිඥවරයෙකුගේ නිවස බිඳ රුපියල් කෝටියකට ආසන්න රන් භාණ්ඩ සොරාගත් සැකකරු සිද්ධියෙන් මාසයකට පසු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ.
දෙහිවල නීතිඥ නිවසින් කෝටියක රන් භාණ්ඩ සොරාගත් සැකකරු මසකට පසු දැලේ
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සේවය කරන අදාළ නීතිඥවරයා ඇතුළු නිවැසියන් තද නින්දේ පසුවූ අවස්ථාවක, ඉකුත් ජනවාරි 17 වැනිදා අලුයම් කාලයේදී මෙම සොරකම සිදුව ඇත. ජනේලයකින් නිවස තුළට ඇතුළු වූ සැකකරු ඉතා සූක්ෂම ලෙස රන් පවුම් 20කට ආසන්න ප්‍රමාණයක් සොරාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු එම රන් භාණ්ඩ මොරටුව සහ කළුතර ප්‍රදේශවල මූල්‍ය ආයතන වෙත උකස් කර තිබූ බව හෙළි විය. පොලිසිය එම ආයතන වෙත ගියද, ඒ වන විටත් අදාළ මූල්‍ය ආයතන විසින් එම රන් භාණ්ඩ උණු කර තිබීම විශේෂත්වයකි. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම සාර්ථක වැටලීම සිදු කරන ලදී.














