අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියර යටතේ අයදුම් කළ සියලු දෙනාගේ තොරතුරු වාර්ෂිකව යාවත්කාලීන කිරීමේ විශේෂ සංගණන ක්‍රියාවලියක් මේ දිනවල ක්‍රියාත්මක වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි. 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතට අනුව ප්‍රතිලාභී නාම ලේඛනය වාර්ෂිකව යථාවත් කිරීම අනිවාර්ය වන අතර, මේ වන විට පුද්ගලයන් 2,993,558ක් සිය තොරතුරු ඉදිරිපත් කර තිබේ. මෙම තොරතුරු තහවුරු කරගැනීම සඳහා සංගණන නිලධාරීන් මාර්තු 28 වැනිදා දක්වා ප්‍රතිලාභීන්ගේ නිවෙස් වෙත පැමිණීමට නියමිතය.
සංගණන නිලධාරීන් පැමිණෙන අවස්ථාවේදී පවුලේ වයස අවුරුදු 18ට වැඩි සාමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත්, පසුගිය මාස 3ක විදුලි බිල්පත්, ඉඩම් ඔප්පු, වාහන බලපත්‍ර සහ වෛද්‍ය සහතික ඇතුළු ලේඛන සූදානම් කර තබා ගන්නා ලෙස මණ්ඩලය මහජනතාවට දැනුම් දෙයි. මෙහිදී වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු දීමනා අපේක්ෂිත අයදුම්කරුවන්ගේ තොරතුරු ද ආවරණය කෙරේ. යම් හෙයකින් මෙම සංගණනයේදී අසත්‍ය තොරතුරු ලබා දුන්නහොත්, සුබසාධක පනතේ 20 වැනි වගන්තිය ප්‍රකාරව රුපියල් 5,000ක දඩයක් හෝ වසරක සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකටම යටත් වීමට සිදුවන බවට මණ්ඩලය දැඩිව අනතුරු අඟවයි.















