සඳ සහ අඟහරු වැනි ග්‍රහලෝක ගවේෂණය කිරීමේදී මිනිස් මඟපෙන්වීමකින් තොරව ස්වාධීනව කටයුතු කළ හැකි “ANYmal” නමැති සිව්පා රොබෝවරයෙකු ස්විට්සර්ලන්ත පර්යේෂකයන් විසින් සාර්ථකව අත්හදා බලා තිබේ. මෑතකදී පවත්වන ලද පරීක්ෂණවලදී, මිනිසුන් විසින් මෙහෙයවනු ලබන සාම්ප්‍රදායික රෝවර් යන්ත්‍රවලට වඩා තුන් ගුණයක වේගයකින් සිය මෙහෙයුම් නිම කිරීමට මෙම රොබෝ සුනඛයා සමත් වී ඇති බව බාසල් විශ්වවිද්‍යාලයේ (University of Basel) පර්යේෂකයෝ පවසති.
මෙම රොබෝවරයා සතුව ඇති විශේෂ රොබෝ හස්තයක් මඟින් පාෂාණවල රසායනික සංයුතිය හඳුනාගත හැකි “Raman spectrometer” ස්කෑනරයක් සහ ඉතා කුඩා රූප ලබාගත හැකි ක්ෂුද්‍ර කැමරාවක් හසුරුවනු ලබයි. අඟහරු ලොව මතුපිටට සමාන ලෙස සකස් කරන ලද “Marslabor” නම් පර්යේෂණාගාරය තුළ සිදුකළ පරීක්ෂණවලදී, ස්වාධීනව ගමන් කිරීමටත්, විද්‍යාත්මක වටිනාකමක් ඇති පාෂාණ හඳුනාගෙන ඒවා විශ්ලේෂණය කර තොරතුරු සම්ප්‍රේෂණය කිරීමටත් ANYmal සමත් වී තිබේ.
අනාගතයේදී වෙනත් ග්‍රහලෝකවල ඛනිජ සම්පත්, ජලය සහ පැරණි ජීවීන් පිළිබඳ සලකුණු සෙවීමේ මෙහෙයුම් සඳහා මෙම තාක්ෂණය ඉතා වැදගත් වනු ඇත. විශේෂයෙන්ම පෘථිවියේ සිට ලබා දෙන උපදෙස් මත පමණක් රඳා නොපවතින මෙවැනි රොබෝවරුන් මඟින් අභ්‍යවකාශ ගවේෂණ කටයුතු වඩාත් කාර්යක්ෂම සහ වේගවත් වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.















