අමෙරිකානු හමුදා භට පිරිස් රැගත් හමුදා යානා දෙකකට සිය ගුවන් සීමාව හරහා පියාසර කිරීමට අවසර ලබාදීම ස්විට්සර්ලන්ත රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ස්විට්සර්ලන්තය දිගුකාලීනව අනුගමනය කරනු ලබන “දේශපාලන මධ්‍යස්ථභාවය” (Neutrality) පිළිබඳ දැඩි නීති රීති උපුටා දක්වමින් එරට බලධාරීන් මෙම තීරණය ගෙන තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ කිසිදු පාර්ශවයක හමුදා මෙහෙයුම් සඳහා සෘජුව සහාය නොදැක්වීම ස්විට්සර්ලන්තයේ ප්‍රතිපත්තියයි.
කෙසේ වෙතත්, අමෙරිකාව විසින් ඉදිරිපත් කර තිබූ සමස්ත ඉල්ලීම් අතරින් යානා තුනක් සඳහා සිය ගුවන් කලාපය විවෘත කිරීමට ස්විට්සර්ලන්ත රජය එකඟතාව පළ කර ඇත. මේ පිළිබඳව පැහැදිලි කරමින් එරට රජය නිවේදනය කර ඇත්තේ එම අවසරය ලබා දුන්නේ නඩත්තු කටයුතු සඳහා වන ගුවන් යානා සහ සාමාන්‍ය ප්‍රවාහන කටයුතු සඳහා වන යානා සඳහා පමණක් බවයි. හමුදා භටයන් රැගත් යානා සඳහා අවසර නොදීම හරහා ස්විට්සර්ලන්තය නැවත වරක් තහවුරු කර ඇත්තේ ජාත්‍යන්තර ගැටුම්වලදී තමන් පෙනී සිටින අපක්ෂපාතී ස්ථාවරයයි.














