ස්විට්සර්ලන්තයේ බටහිර කලාපයේ පිහිටි කර්සර්ස් (Kerzers) නගරයේදී මගී බස් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තවත් 05 දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. ඊයේ (මාර්තු 10) පස්වරුවේ සිදුවූ මෙම ඛේදවාචකයේදී, ඩඩින්ගන් (Düdingen) සිට කර්සර්ස් දක්වා ධාවනය වෙමින් තිබූ ‘පෝස්ට් බස්’ (PostBus) වර්ගයේ බස් රථයක් මෙලෙස ගිනිගෙන විනාශ වී ඇත. ගින්න හටගන්නා අවස්ථාවේදී බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිදැල්වලින් වැසී තිබූ අතර, එහි සිටි මගීන් දැඩි භීතියට පත්ව පැන යාමට උත්සාහ කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.
ෆ්‍රිබර්ග් කැන්ටනල් (Fribourg cantonal) පොලිසිය ප්‍රකාශ කළේ, මෙම ගින්න කිසියම් පුද්ගලයෙකු විසින් හිතාමතා සිදුකළ ‘සැලසුම් සහගත ක්‍රියාවක්’ (Voluntary act) විය හැකි බවට සැක කරන බවයි. බස් රථය තුළ සිටි පුද්ගලයෙකු සිරුරට ගෑසොලින් හලාගෙන ගිනි තබාගෙන ඇති බවට ඇසින් දුටු සාක්ෂි ලැබී ඇති අතර, පොලිසිය ඒ පිළිබඳව විමර්ශන අරඹා තිබේ. තුවාල ලැබූවන් අතරින් තිදෙනෙකුගේ තත්ත්වය අතිශය බරපතල බැවින් ඔවුන් හෙලිකොප්ටර් මගින් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. ස්විට්සර්ලන්ත ජනාධිපති ගයි පර්මෙලින් (Guy Parmelin) මෙම සිදුවීම පිළිබඳව සිය බලවත් කනගාටුව පළ කර ඇති අතර, මියගිය අයගේ පවුල්වල සාමාජිකයින්ට සිය ශෝකය ප්‍රකාශ කර ඇත.















