පෙබරවාරි 06 – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන 2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (07) නිල වශයෙන් ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ‘ඒ’ කාණ්ඩය යටතේ පාකිස්ථානය සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන තරගය හෙට පෙරවරු 11.00ට කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) පිටියේදී පැවැත්වේ. හෙට දිනයේම සවස 3.00ට බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තය අතර තරගය කොල්කටා හිදී ද, රාත්‍රී 7.00ට ඉන්දියාව සහ ඇමරිකාව අතර තරගය මුම්බායි හිදී ද පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඊයේ (05) පැවැති නායකයින්ගේ හමුවේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රකාශ කළේ තම කණ්ඩායම තරගාවලිය සඳහා හොඳ සූදානමකින් පසුවන බවයි. විශේෂයෙන් දුෂ්මන්ත චමීර ප්‍රමුඛ පන්දු යැවීමේ බලඇණිය පිළිබඳව තමා සතුටු වන බවත්, පිතිකරණයේ පවතින සුළු ගැටලු අත්දැකීම් සහිත ක්‍රීඩකයින් විසින් නිරාකරණය කරගනු ඇති බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත්, වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග උරහිසේ ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිත වී තිබේ. මේ අතර, පකිස්ථාන නායක සල්මන් අලි අගා යළිත් අවධාරණය කළේ ඉන්දියාව සමඟ මූලික වටයේ තරගයට සහභාගී නොවීම තම රජයේ තීරණයක් බවයි. ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අනිද්දා (08) අයර්ලන්තයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.













