2026 පිරිමි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සාර්ථකව නිමාවට පත්වීමෙන් අනතුරුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පිරිනමනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 11.25ක මුළු තෑගි මුදල් සංචිතයෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 475,962ක මුදලක් හිමිව තිබේ. තරගාවලියේ ශූරතාව දිනාගත් ඉන්දියාවට ඩොලර් 2,639,423ක වැඩිම තෑගි මුදල හිමිව ඇති අතර, අනුශූරතාව දිනාගත් නවසීලන්තයට ඩොලර් 1,422,692ක මුදලක් හිමිව ඇත. මීට අමතරව දකුණු අප්‍රිකාවට ඩොලර් 1,005,577ක් සහ එංගලන්තයට ඩොලර් 974,423ක් බැගින් හිමිව ඇති අතර, පාකිස්තානය සහ සිම්බාබ්වේ යන රටවල් ද ශ්‍රී ලංකාවට වඩා වැඩි තෑගි මුදල් ප්‍රමාණයන් ලබාගෙන තිබේ.
මෙම තෑගි මුදල් ගණනය කර ඇත්තේ සෑම කණ්ඩායමකටම හිමිවන ඩොලර් 225,000ක මූලික සහභාගීත්ව ගාස්තුවට අමතරව, ඔවුන් ලබාගත් ජයග්‍රහණ සංඛ්‍යාව, තරගාවලියේ අවසන් ස්ථානය සහ එක් එක් අදියරයන් කරා ඉදිරියට පැමිණි ආකාරය පදනම් කරගනිමිනි. මූලික වටය, සුපිරි 8 වටය, අවසන් පූර්ව වටය සහ අවසන් මහා තරගය යන සියලුම අදියරයන් නියෝජනය කළ කණ්ඩායම්වල දක්ෂතා මෙහිදී සැලකිල්ලට ගෙන ඇත. ශ්‍රී ලංකාව ලබාගත් මෙම මුදලට මූලික සහභාගීත්ව ගාස්තුව මෙන්ම තරගාවලිය පුරා ඔවුන් වාර්තා කළ ජයග්‍රහණ සඳහා පිරිනැමූ විශේෂ දීමනා ද ඇතුළත් වේ.














