2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ 23 වැනි තරගය ලෙස අද (14) පැවැත්වෙන ස්කොට්ලන්ත – එංගලන්ත ගැටුමේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 152ක් රැස් කිරීමට සමත් විය. ඒ අනුව ප්‍රබල එංගලන්තයට මෙම තරගය ජය ගැනීම සඳහා පන්දුවාර 20කදී ලකුණු 153ක ඉලක්කයක් හිමිව තිබේ.
අද තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයාගේ ආරාධනයෙන් පිටියට පිවිසි ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක රිචී බෙරිංටන්ය. ඔහු ලකුණු 49ක් රැස් කළ අතර මයිකල් ජෝන්ස් ලකුණු 33ක් සහ ටොම් බෲස් ලකුණු 24ක් ලබා ගනිමින් ඉනිමට ශක්තියක් විය. කෙසේ වෙතත් පන්දුවාර 19.4ක් තුළ ස්කොට්ලන්තයේ සියලු දෙනා දැවී ගියහ.
පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ආදිල් රෂීඩ් ලකුණු 22කට කඩුළු 3ක් දවාගත් අතර, ජොෆ්රා ආචර් සහ ලියම් ඩෝසන් කඩුළු 2 බැගින් බිඳ දැමූහ. සෑම් කරන් සහ ජේමි ඕවර්ටන් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.














