තායිවානයේ තායිපේ (Taipei) නුවර හිටපු නගරාධිපති සහ පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රබල අපේක්ෂකයෙකු වූ 65 හැවිරිදි කෝ වෙන්-ජී හට දූෂණ චෝදනා සහ දේශපාලන ආධාර අවභාවිත කිරීම සම්බන්ධයෙන් වරදකරු කරමින් වසර 17ක සිරදඬුවමක් එරෙහිව ඊයේ (2026 මාර්තු 26) තායිවාන අධිකරණය විසින් තීන්දු කරන ලදී.
තායිවාන මහජන පක්ෂයේ (TPP) නිර්මාතෘවරයා ද වන ඔහුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ නගරාධිපති ධුරය දරන සමයේ දේපළ වෙළඳාම් ගනුදෙනුවකට අදාළව ඇමෙරිකානු ඩොලර් 535,000කට අධික අල්ලස් මුදලක් ලබා ගැනීමයි. මීට අමතරව 2024 ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණ සමයේ මැතිවරණ වියදම් වාර්තා වැරදි ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද ඔහු වරදකරු වී ඇත.
කෝ වෙන්-ජී තමාට එල්ල වූ සියලු චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ අතර, ඔහුගේ පක්ෂය පවසන්නේ මෙය පවතින රජය විසින් සිදු කරන දේශපාලන දඩයමක් බවයි. 2024 ජනාධිපතිවරණයේදී 25%කට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් තෙවැනි බලවේගයක් ලෙස නැගී සිටි ඔහු, 2028 ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීමට සැලසුම් කර තිබුණි. මෙම අධිකරණ තීන්දුවත් සමඟ ඔහුගේ දේශපාලන ගමන දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, ඔහුගේ ආධාරකරුවන් අධිකරණය ඉදිරිපිට විරෝධතාවල ද නිරත විය.

















