තායිවානයේ ප්‍රධාන විපක්ෂය වන කුවෝමින්ටැන්ග් (KMT) පක්ෂයේ සභාපතිනී චෙන්ග් ලී-වුං (Cheng Li-wun) මහත්මිය අද (08) චීනයේ නැන්ජින් (Nanjing) නුවර පිහිටි සිය පක්ෂයේ නිර්මාතෘ සන් යැට්-සෙන් (Sun Yat-sen) ගේ ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය. එහිදී ඇය අවධාරණය කළේ තායිවානය සහ චීනය අතර පවතින ගැටුම් සමනය කර සමගියෙන් කටයුතු කිරීම සිය අපේක්ෂාව බවයි.
චීනය සහ තායිවානය අතර යුදමය උණුසුම ඉහළ ගොස් ඇති පසුබිමක සහ තායිවාන රජය සිය ආරක්ෂක වියදම් සඳහා ඩොලර් බිලියන 40ක් වෙන් කිරීමට සැරසෙන මොහොතක ඇයගේ මෙම සංචාරය දේශපාලනික වශයෙන් ඉතා සංවේදී එකක් වී තිබේ. සන් යැට්-සෙන් යනු තායිවානයේ මෙන්ම චීනයේ ද ගෞරවයට පාත්‍ර වූ විප්ලවීය නායකයෙකි. දෙපාර්ශවයම එකට එක්ව කලාපීය සාමය සහ සමෘද්ධිය ඇති කළ යුතු බව ඇය එහිදී සජීවී විකාශයක් ඔස්සේ ප්‍රකාශ කළාය.















