තායිවානය සහ චීනය අතර වෙළඳ සහ සංචාරක ක්ෂේත්‍රයන්හි පවතින පාලනයන් ලිහිල් කිරීම සඳහා චීනය ඉදිරිපත් කළ නව යෝජනා පිළිබඳ සාකච්ඡා පෞද්ගලික දේශපාලන පක්ෂ මට්ටමින් නොව, රජය විසින්ම මෙහෙයවිය යුතු බව තායිවාන ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු සඳහන් කරයි.
තායිවාන විපක්ෂ නායිකා චෙං ලි-වුන් (Cheng Li-wun) පසුගියදා බෙයිජිං නුවරදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමෙන් අනතුරුව, තායිවානය සඳහා නව සහනදායී පියවර 10ක් චීනය විසින් ඊයේ (අප්‍රේල් 12) ප්‍රකාශයට පත් කරන ලදී. සංචාරක සීමා ලිහිල් කිරීම, රූපවාහිනී නිර්මාණ හුවමාරුව සහ ආහාර අලෙවිය පහසු කිරීම මීට ඇතුළත් වේ. කෙසේ වෙතත්, තායිවාන ජනාධිපති ලායි චිං-ටේ (Lai Ching-te) බෙදුම්වාදියෙකු ලෙස හඳුන්වමින් චීනය ඔහු සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කරයි.
තායිවාන ජාතික ආරක්ෂක කාර්යාංශයේ ප්‍රධානියා පෙන්වා දෙන්නේ, මෙවැනි හුවමාරු වැඩසටහන් සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී රජය මූලිකත්වය ගැනීමෙන් අනවශ්‍ය අවදානම් සහ දිගුකාලීන බලපෑම් වළක්වා ගත හැකි බවයි. තායිවානයේ ප්‍රධාන විපක්ෂය වන ක්වෝමින්ටන් (KMT) පක්ෂය මෙම චීන යෝජනා පිළිගෙන ඇති අතර, ඒවා ආර්ථික අවස්ථාවන් උදා කිරීමටත් සාමය ස්ථාපිත කිරීමටත් ඉවහල් වනු ඇති බව පවසා තිබේ.













