තලවකැලේ නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳසැලකට කඩාපාත් වූ අමුතුම වර්ගයේ ‘කට්ට හොරෙක්’ රුපියල් 50,000ක රන් මුදුවකට විද, ඒ වෙනුවට පිත්තල මුදුවක් ‘තෑගි’ කර පලාගොස් තිබේ. තමන්ට ගැළපෙන මුදුවක් තෝරන මුවාවෙන් පැමිණි මෙම පුද්ගලයා, වෙළෙඳසැල් සේවකයින්ගේ ඇසට වැලි ගසා අතේ සඟවාගෙන ආ පිත්තල මුදුව රන් මුදු ගොඩට දමා, නියම රන් මුදුව සාක්කුවේ දාගෙන ඇත්තේ හරියට ‘ඩේවිඩ් කොපර්ෆීල්ඩ්’ පරාද කරන මැජික් එකක් පෙන්වමිනි.
මුදුවක් තෝරා ගැනීමට නොහැකි බව පවසා ඉතා අහිංසක ලෙස වෙළෙඳසැලෙන් පිටව ගිය මෙම ‘පිත්තල මිනිහා’ ගැන සැක සිතුණු සේවකයින් මුදු පරීක්ෂා කිරීමේදී, රත්තරන් අතර දිලිසෙන පිත්තල කැබැල්ල හමු වී ඇත. පසුව සීසීටීවී (CCTV) පරීක්ෂා කිරීමේදී හොරාගේ සූක්ෂ්ම ‘අතේ වැඩ’ සියල්ල රෙකෝඩ් වී ඇති බව අනාවරණය විය. තලවකැලේ පොලිසිය දැන් මෙම ‘මැජික්කරු’ සොයා පස්සෙන් පන්නන අතර, වෙළෙන්ඳන්ට පවසන්නේ මෙවැනි අමුතු පාරිභෝගිකයන් ගැන ඇහැ ගහගෙන සිටින ලෙසයි.














