මෙරට පවතින උග්‍ර ඉන්ධන ගබඩා කිරීමේ ගැටලුවට විසඳුමක් ලෙස භාවිත කළ හැකිව තිබූ තලවාකැලේ දුම්රිය ස්ථානය අසල පිහිටි දැවැන්ත ඉන්ධන ගබඩා සංකීර්ණයක් දශක කිහිපයක සිට වල්බිහිවීමට ඉඩහැර තිබීම පිළිබඳව ප්‍රදේශවාසීන් සිය දැඩි කනස්සල්ල පළ කරති. ඩීසල්, භූමිතෙල් සහ දැවෙන තෙල් (Furnace oil) ලීටර් මිලියන ගණනක් ගබඩා කිරීමේ ධාරිතාවයකින් යුත් මෙම සංකීර්ණය, අතීතයේදී උඩරට වතුකරයේ සහ අවට නගර රැසක ඉන්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වී තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධීක්ෂණය යටතේ පෞද්ගලික අංශයේ සමාගමක් විසින් මෙය කලින් පාලනය කර ඇති බව වාර්තා වේ.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ උඩරට වතුකරයට සහ අවට ප්‍රදේශවල විශාල ජනගහනයකට බාධාවකින් තොරව ඉන්ධන සැපයීමට මෙම මධ්‍යස්ථානය යළි ස්ථාපිත කිරීමේ වැදගත්කම ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. වත්මන් රජය ඉන්ධන ගබඩා පහසුකම් පුළුල් කිරීමට උත්සාහ ගන්නා පසුබිමක, මෙවැනි දැනටමත් පවතින සම්පත් විනාශ වීමට ඉඩහැරීම ජාතික අපරාධයක් බව ඔවුහු පවසති. මෙම ගබඩා සංකීර්ණය යථා තත්ත්වයට පත් කළහොත්, දුම්රිය මාර්ගය හරහා පහසුවෙන් ඉන්ධන ප්‍රවාහනය කර උඩරට කලාපය තුළ ස්ථාවර සැපයුමක් පවත්වා ගැනීමට හැකියාව පවතින බව පර්යේෂකයන්ගේ ද මතය වී තිබේ.
අප්‍රේල් මාසය සඳහා ඇණවුම් කරන ලද ඉන්ධන තොග ගොඩබෑමට පවා ගබඩා පහසුකම් මදි බවට බලධාරීන් පවසන මොහොතක, තලවාකැලේ වැනි උපායමාර්ගික ස්ථානයක පිහිටි මෙම ගබඩා පද්ධතිය කෙරෙහි රජයේ කඩිනම් අවධානය යොමු විය යුතු බව ජනතාව අවධාරණය කරති. පෞද්ගලික අංශය හෝ රජය මැදිහත් වී මෙය කඩිනමින් පිළිසකර කරන්නේ නම්, එය ඉදිරි බලශක්ති අර්බුද කළමනාකරණය සඳහා සුවිශේෂී පිටුවහලක් වනු ඇත.














