දශක හතරකට අධික කාලයක් තමිල්නාඩු ප්‍රාන්තයේ දිවිගෙවන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ඉන්දීය පුරවැසිභාවය ලබාදෙන ලෙසට තමිල්නාඩු මහඇමති එම්.කේ. ස්ටාලින් මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් නිල ඉල්ලීමක් සිදුකර තිබේ. ඉදිරි ප්‍රාන්ත මැතිවරණයට මාස දෙකක් වැනි කෙටි කාලයක් ඉතිරිව තිබියදී සිදුකළ මෙම මැදිහත්වීම දේශපාලනික මෙන්ම මානුෂීය වශයෙන් ද දැඩි අවධානයට ලක්ව ඇත. මේ වන විට තමිල්නාඩුවේ සරණාගත කඳවුරු තුළ සහ ඉන් පිටත ශ්‍රී ලාංකික දෙමළ ජනතාව 89,000කට ආසන්න පිරිසක් වාසය කරන අතර, ඉන් 40%ක් පමණ පිරිසක් ඉන්දියාවේම උපත ලැබූවන් බව මහඇමතිවරයා පෙන්වා දෙයි.
1983 වසරේ සිට ශ්‍රී ලංකාවේ ඇති වූ වාර්ගික ගැටුම් හේතුවෙන් ඉන්දියාවට පලාගිය මෙම ජනතාවට අනුප්‍රාප්තික තමිල්නාඩු රජයන් විසින් නවාතැන්, අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කළ ද, ඔවුන්ට මෙතෙක් ස්ථාවර පුරවැසිභාවයක් හෝ දිගුකාලීන වීසා බලපත්‍ර හිමිව නොමැති බව අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියෙහි සඳහන් වේ. මෙම තත්ත්වය ඔවුන්ගේ වෘත්තීය සහ සිවිල් අයිතිවාසිකම් නිසි ලෙස භුක්ති විඳීමට විශාල බාධාවක් වී ඇති බව ද එහි වැඩිදුරටත් අවධාරණය කර ඇත.
පවතින දත්ත වාර්තාවලට අනුව මෙම සමස්ත පිරිසෙන් මෙතෙක් ඉන්දීය පුරවැසිභාවය ලබාගැනීමට සමත්ව ඇත්තේ පුද්ගලයින් 11 දෙනෙකු පමණක් වන අතර ඉන් ඡන්ද බලය හිමිව ඇත්තේ එක් අයෙකුට පමණි. සෙසු පිරිස තමන්ව ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලීම් කරමින් සිටින පසුබිමක, මහඇමතිවරයාගේ මෙම ඉල්ලීම තමිල්නාඩුවේ වෙසෙන ලාංකික දෙමළ ජනතාවගේ අනාගතය සහ සිවිල් අයිතිවාසිකම් තීරණය කෙරෙන තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.















