ඉදිරි ප්‍රාන්ත සභා මැතිවරණයට පෙර සිදුකළ විශේෂ දැඩි සංශෝධන (SIR) ක්‍රියාවලියෙන් අනතුරුව, තමිල්නාඩු ප්‍රාන්තයේ අවසන් ඡන්ද හිමි නාමලේඛනය අද (23) ප්‍රකාශයට පත් කෙරිණි. ප්‍රාන්ත ප්‍රධාන මැතිවරණ නිලධාරී (CEO) අර්චනා පට්නායික් මහත්මිය විසින් නිකුත් කරන ලද මෙම නාමලේඛනයට අනුව, පුද්ගලයන් ලක්ෂ 74කට අධික සංඛ්‍යාවකගේ නම් ලේඛනයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයකි.
මැතිවරණ කොමිසම සඳහන් කරන පරිදි, මියගිය පුද්ගලයන්, පදිංචිය වෙනස් කළ පුද්ගලයන් සහ එකම පුද්ගලයාගේ නම කිහිප වරක් ඇතුළත් වී තිබූ (Duplicate entries) අවස්ථා හඳුනාගෙන මෙලෙස ඉවත් කිරීමට පියවර ගෙන ඇත. මැතිවරණයේ විනිවිදභාවය සහ නිරවද්‍යතාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගත් බව බලධාරීහු පවසති.
ලක්ෂ ගණනක නම් ඉවත් කළ ද, ප්‍රාන්තය පුරා වයස අවුරුදු 18 සම්පූර්ණ කළ නව ඡන්දදායකයින් විශාල පිරිසක් අලුතින් ලේඛනයට එක් වී තිබේ. මෙම සංශෝධනයෙන් පසු තමිල්නාඩුවේ සමස්ත ඡන්දදායකයින් සංඛ්‍යාව සහ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව වර්ගීකරණය කරන ලද දත්ත ඉදිරි දින කිහිපය තුළ ප්‍රසිද්ධ කිරීමට නියමිතය.
ඡන්ද හිමි නාමලේඛනය අවසන් කිරීමත් සමඟ තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සඳහා වන මූලික කටයුතු නිම වෙමින් පවතින අතර, මැතිවරණය පැවැත්වෙන නිල දිනයන් ඉදිරියේදී මැතිවරණ කොමිසම විසින් නිවේදනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














