2002 වසරේදී තණමල්විල ප්‍රදේශයේදී 13 හැවිරිදි දැරියක ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් දෙදෙනෙකුට මොණරාගල මහාධිකරණය විසින් අද (26) මරණ දඬුවම නියම කරන ලදී. 2002 ජුනි මස 06 වැනිදා තණමල්විල, කිතුල්කෝටේ ප්‍රදේශයේදී T-56 ගිනිඅවි සහ බෝර 12 ගිනිඅවි භාවිතා කරමින් මෙම සමූහ ඝාතනය සිදු කර තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් වසර ගණනාවක් පුරා සිදු කරන ලද විධිමත් විමර්ශනවලින් අනතුරුව මොණරාගල මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාගයට ගත් අතර, එහිදී ඉදිරිපත් වූ සාක්ෂි මඟින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබේ. ඒ අනුව දීර්ඝ කාලයකට පසු මෙම බරපතල අපරාධයට අදාළ යුක්තිය පසිඳලීම සිදු කරමින් මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.














