තංගල්ල ප්‍රදේශයේ පැවති අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් යුත් ගුරු හමුවකට සහභාගි නොවූ ගුරුවරුන්ගෙන් ඒ පිළිබඳ කරුණු විමසීමට තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය ගත් පියවර ලංකා ගුරු සංගමය දැඩි ලෙස හෙළා දකියි. පසුගිය 15 වන ඉරිදා දින පැවති මෙම උත්සවයට සහභාගි නොවීමට හේතු දන්වන ලෙස දන්වමින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් විදුහල්පතිවරුන් වෙත ලිඛිතව කළ දැනුම්දීම නීති විරෝධී බව එම සංගමය පෙන්වා දෙයි.
ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික් ලංකා ගුරු සංගමයේ ලේකම් සුරංග චින්තක මහතා අවධාරණය කළේ, නිවාඩු දිනයක් වන ඉරිදා දිනයේ බලහත්කාරයෙන් ගුරුවරුන් කැඳවීමට බලධාරීන්ට කිසිදු අයිතියක් නොමැති බවයි. වත්මන් රජය බලයට පත්කිරීමට පෙරමුණ ගත් ගුරු ප්‍රජාවටම අද මෙලෙස පරිපාලනමය බලපෑම් එල්ල වීම කණගාටුදායක තත්ත්වයක් බවත්, මෙම මර්දනකාරී ක්‍රියාවට එරෙහිව ගුරුවරුන් දැනුවත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














