පසුගිය පෙබරවාරි 12 වනදා පැවති ඓතිහාසික පාර්ලිමේන්තු මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක් ලැබූ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) සභාපති තාරික් රහ්මාන් මහතා ඇතුළු අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරු පිරිස අද (17) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දුන්හ. ඩකා අගනුවර පිහිටි ජාතික පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේදී පැවැති මෙම උත්සවයේදී දිවුරුම් දීම මෙහෙයවනු ලැබුවේ එරට ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ඒ.එම්.එම්. නසීර් උද්දීන් මහතා විසිනි.
මෙවර මැතිවරණයේදී බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) ආසන 297 න් 209 ක් ජයග්‍රහණය කරමින් තනි බහුතර බලයක් ලබා ගැනීමට සමත් විය. තාරික් රහ්මාන් මහතා සමඟින් ස්වාධීන මන්ත්‍රීවරුන් සහ අනෙකුත් සන්ධානගත පක්ෂවල මන්ත්‍රීවරුන් ද අද උදෑසන නිල වශයෙන් සිය ධුරයන්හි දිවුරුම් දුන් අතර, මෙය දශක දෙකකට පසු BNP පක්ෂය මෙහෙයවන රජයක් බංග්ලාදේශයේ පිහිටුවන මුල්ම පියවර ලෙස සැලකේ.
බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තාරික් රහ්මාන් මහතා සහ ඔහුගේ නව කැබිනට් මණ්ඩලය අද පස්වරු 4.00 ට බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද සහභාගී වන බව වාර්තා වේ. 2024 වසරේ ඇති වූ දැවැන්ත මහජන අරගලයෙන් පසු එරට පැවති පළමු මහ මැතිවරණය මෙය වන බැවින්, නව රජය පිහිටුවීම කෙරෙහි ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් යොමුව තිබේ.














