ප්‍රකට රූපවාහිනී තරුවක වන Taylor Frankie Paul සහ ඇයගේ හිටපු සහකරු Dakota Mortensen සම්බන්ධ 2023 වසරේ වීඩියෝවක් නැවත කරළියට පැමිණීමත් සමඟ ABC නාලිකාව විසින් ඇය ප්‍රධාන චරිතය හෙබවූ ‘The Bachelorette’ නවතම අදියර විකාශය නොකිරීමට තීරණය කර තිබේ. ලබන ඉරිදා මෙහි මංගල දර්ශනය පැවැත්වීමට නියමිතව තිබියදී ඩිස්නි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් ආයතනය විසින් මෙම හදිසි තීරණය ගෙන ඇත.
TMZ වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධ කරන ලද මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ 2023 වසරේදී Taylor සහ Dakota අතර ඇති වූ දරුණු ආරවුලකි. එම සිදුවීම සම්බන්ධයෙන් ඇය මීට පෙර අත්අඩංගුවට පත්ව චෝදනා ලැබූ අතර පසුව ඇය වරදකරු බවට ද පත් විය. මේ වන විටත් යුටා (Utah) ප්‍රාන්තයේ ඩ්‍රැපර් සිටි පොලිසිය මගින් මොවුන් දෙදෙනාටම එරෙහිව එල්ල වී ඇති ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වමින් සිටියි.
මෙම අර්බුදය හේතුවෙන් ඇය රංගනයෙන් දායක වන Hulu නාලිකාවේ ‘The Secret Lives of Mormon Wives’ වැඩසටහනේ මීළඟ අදියරේ රූගත කිරීම් ද තාවකාලිකව නතර කර තිබේ. ඇය සමඟ එහි රංගනයේ යෙදෙන අනෙකුත් නිළියන් ද පවතින තත්ත්වය හමුවේ රූගත කිරීම්වලට සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. Taylor විසින් මෑතකදී Dakota හට එරෙහිව සිදු කළ දැඩි විවේචනයක් ද මෙම තත්ත්වය තවදුරටත් උණුසුම් වීමට හේතු වී ඇත.














