තේ කර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුණින් තලවාකැලේ තේ පර්යේෂණ ආයතනය විසින් රුපියල් මිලියන 56ක වියදමින් නව ජංගම පාංශු සහ ශාක විශ්ලේෂණ විද්‍යාගාරයක් ස්ථාපිත කර තිබේ. මෙම නවීන පහසුකම මඟින් තේ වගාවට අදාළ පාංශු පරීක්ෂණ සහ ශාක විශ්ලේෂණ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට අපේක්ෂිතය.
මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී ප්‍රතිලාභයක් ලෙස කුඩා තේ වතු හිමියන්ට මෙම සියලු සේවාවන් නොමිලේ ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ මහසෙන් රණතුංග මහතා ප්‍රකාශ කළේ, කුඩා තේ වතු හිමියන් සිටින ප්‍රදේශවලටම මෙම ජංගම විද්‍යාගාරය රැගෙන ගොස් ඔවුන්ගේ වගා ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට මෙහිදී ප්‍රමුඛතාව ලබා දෙන බවයි.
මෙමගින් පාංශු සාරවත්භාවය හඳුනාගෙන නිසි පොහොර කළමනාකරණයක් සිදු කිරීමට වතු හිමියන්ට හැකි වන අතර, එය සමස්ත තේ නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ද සෘජුවම දායක වනු ඇත.














