ගුරු සහ විදුහල්පති සේවාවන්හි පවතින දිගුකාලීන වැටුප් විෂමතා ගැටලුව සඳහා කඩිනම් සහ තිරසාර විසඳුම් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. වෘත්තීය සමිති සමඟ පවත්වන ලද සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණ ගෙන ඇති බව ඇය සඳහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය මෙහිදී ඉදිරිපත් කළ ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 903ක් සහ විදුහල්පති සේවයේ පුරප්පාඩු 3,790ක් පවතින අතර, ඒවා පිරවීම සඳහා 2026 මාර්තු මස දෙවන සතියේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය. විදුහල්පති සේවයට ඇතුළත් වීම දැනට නව බඳවා ගැනීමක් ලෙස සලකන බැවින් මතුව ඇති වැටුප් ගැටලුවට විසඳුමක් ලෙස, එය “උසස් වීමක්” ලෙස සලකා වැටුප් පරිවර්තනය කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට පියවර ගන්නා බව ඇය අවධාරණය කළාය.
මීට අමතරව, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල පවතින වැටුප් අර්බුද සඳහා තිරසාර විසඳුම් ලබාදීමට නව වැටුප් කොමිසමක් පත් කිරීමට නියමිත බවත්, එමගින් මෙම වසරේදී ස්ථිරසාර විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බවත් අගමැතිනිය පැවසුවාය. විදුහල්පතිවරුන්ගේ නිපුණතා වර්ධනය සඳහා සේවා ආරම්භක පුහුණුව සහ ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන් අනිවාර්ය කිරීමට ද රජය තීරණය කර ඇත.














