ඉරානයේ ටෙහෙරාන් අගනුවර මධ්‍යම, දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් අද (23) අලුයම ප්‍රබල පිපිරීම් මාලාවක් සිදුව ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) විසින් ඉරාන රජයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම දැවැන්ත ප්‍රහාර මාලාව දියත් කර ඇති අතර, එයට ප්‍රතිචාර වශයෙන් ටෙහෙරාන් නුවර පුරා ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ.
ටෙහෙරාන් නුවරට බටහිරින් පිහිටි ඛොරාමාබාද් (Khorramabad) ප්‍රදේශයට ද ගුවන් ප්‍රහාර එල්ල වී ඇති අතර, එහිදී එක් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් සුන්බුන් අතර සිරවූවන් සොයා ප්‍රදේශවාසීන් මෙහෙයුම් දියත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරයත් සමඟ එම ප්‍රදේශයේ විදුලිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති අතර, ජනතාව විදුලි පන්දම් ආධාරයෙන් හානි වූ ස්ථාන පරීක්ෂා කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. වාර්තා වන අන්දමට ඛොරාමාබාද් ප්‍රහාරයෙන් එක් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද සඳහන් වේ.
පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම ඇමරිකානු-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම මේ වන විට සිව්වන සතියට එළඹ ඇති අතර, හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් පැය 48ක කාලසීමාව හෙට (24) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය. මෙම තත්ත්වය හමුවේ ඉරානය ද තර්ජනය කර ඇත්තේ තම බලශක්ති පද්ධතියට ප්‍රහාර එල්ල වුවහොත් මැදපෙරදිග කලාපයේ පවතින ඇමරිකානු කඳවුරුවලට විදුලිය සපයන බලාගාර ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි.












