තෙලිකඩ, ගිනිමැල්ලගහ පොල්දුවවත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ (04) රාත්‍රියේ හටගත් හදිසි ගින්නකින් එම නිවස තුළ නිදා සිටි 85 හැවිරිදි කාන්තාවක් පිළිස්සී මියගොස් ඇති බව තෙලිකඩ පොලිසිය වාර්තා කරයි. ගින්න හටගත් අවස්ථාවේදී තෙලිකඩ පොලිසියේ ජංගම මුර සංචාරයේ නිරත නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට දැඩි උත්සාහයක නිරත වූහ. එහෙත් ගින්න ඉතා වේගයෙන් පැතිර යාම හේතුවෙන් ඇය බේරා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇති අතර ගින්න පාලනය කරන විටත් ඇය බරපතල ලෙස පිළිස්සී මියගොස් සිටි බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
මෙම විපතින් නිවස සහ එහි තිබූ සියලු දේපළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, මියගිය කාන්තාව එම ප්‍රදේශයේම පදිංචි 85 හැවිරිදි මවකි. ගින්න හට ගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදුලි කාන්දුවක් හෝ දැල්වූ පහනකින් ගින්න හටගත්තේද යන්න පිළිබඳව තෙලිකඩ පොලිසිය විද්‍යාත්මක විමර්ශන ආරම්භ කර තිබේ. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතය.














