බත්තරමුල්ල, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 10ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි. පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) සහ විශේෂ කාර්ය බළකාය (STF) මෙම විමර්ශන සඳහා එක්ව සිටී.
අකුරේගොඩ හමුදා මූලස්ථානය අසල පිහිටි සුපිරි වෙළඳසැලක රථ ගාලක් තුළ අද (13) පස්වරු 05.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ටී-56 ගිනි අවියකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ මෙම යුවළ සිය සුඛෝපභෝගී මෝටර් රථය තුළ රැඳී සිට ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි බුද්ධික මල්ලවආරච්චි නැමැති නීතිඥවරයා සහ ඔහුගේ 42 හැවිරිදි බිරිඳයි. මියගිය නීතිඥවරයා මීට පෙර සංවිධානාත්මක අපරාධකරුවන්ට අදාළ නඩු කිහිපයක් සඳහා පෙනී සිට ඇති බවට තොරතුරු වාර්තා වන අතර, ඝාතනයට හේතුව එයද යන්න පිළිබඳව පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.














