ඇමරිකා එක්සත් ජනපදය තුළ සූර්ය පැනල සහ සූර්ය කෝෂ නිෂ්පාදනය කිරීමේ යෝධ ව්‍යාපෘතියක් සඳහා චීන සැපයුම්කරුවන්ගෙන් ඩොලර් බිලියන 2.9ක උපකරණ මිලදී ගැනීමට ටෙස්ලා සමාගම සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ. ටෙස්ලා ප්‍රධානී ඉලොන් මස්ක්ගේ අරමුණ වන්නේ 2028 වසර අවසන් වීමට පෙර ඇමරිකානු පසෙහි ගිගාවොට් 100ක සූර්ය බලශක්ති නිෂ්පාදන ධාරිතාවක් ස්ථාපිත කිරීම වන අතර විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන සහ නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්ධනයත් සමඟ ඇමරිකාව මුහුණ දෙන විදුලි බල හිඟයට විසඳුමක් ලෙස මෙම පියවර ගෙන තිබේ. මෙම ගනුදෙනුව සඳහා Suzhou Maxwell Technologies ඇතුළු චීන සමාගම් කිහිපයක් සමඟ ටෙස්ලා සමාගම සාකච්ඡා පවත්වන අතර එළඹෙන සරත් සමයට පෙර මෙම යන්ත්‍රෝපකරණ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි ටෙස්ලා කර්මාන්තශාලා වෙත ලබා දෙන ලෙස දැනුම් දී ඇත. ඇමරිකාව චීනය මත පවතින වෙළඳ යැපීම අවම කිරීමට උත්සාහ කළ ද එරට නිෂ්පාදන ක්ෂේත්‍රය යළි නංවාලීම සඳහා තවමත් චීනය සමඟ වෙළඳ ගනුදෙනු සිදු කිරීමට සිදුව ඇති බව මෙමගින් පැහැදිලි වන අතර මෙම පුවතත් සමඟ අදාළ චීන සමාගම්වල කොටස් මිල ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.














