ටෙස්ලා (Tesla) සමාගම සිය වත්මන් මාදිලිවලට වඩා කුඩා සහ මිලෙන් අඩු නව විද්‍යුත් SUV රථයක් නිපදවීමට කටයුතු කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම නව රථය ටෙස්ලා හි ජනප්‍රිය Model 3 හෝ Model Y රථවල නව සංස්කරණයක් නොවන අතර, එය සම්පූර්ණයෙන්ම අලුත් සැලසුමක් සහිත සංයුක්ත (Compact) SUV රථයක් වනු ඇතැයි පැවසේ. මෑත සතිවලදී ටෙස්ලා සමාගම මේ සම්බන්ධයෙන් අමතර කොටස් සපයන්නන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.
නව රථයේ දිග මීටර් 4.28ක් (අඩි 14ක් පමණ) වනු ඇතැයි සැලකෙන අතර, එය Model Y රථයට වඩා සැලකිය යුතු ලෙස කුඩා වේ. මෙම රථය ප්‍රධාන වශයෙන් චීනයේ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර, පසුව ඇමරිකාව සහ යුරෝපය දක්වා නිෂ්පාදන කටයුතු ව්‍යාප්ත කිරීමට නියමිතය. රථයේ බර මෙට්‍රික් ටොන් 1.5ක් පමණ වන පරිදි සැහැල්ලුවෙන් නිපදවීමටත්, කුඩා බැටරියක් සහ තනි මෝටරයක් (Single Motor) භාවිත කිරීමෙන් පිරිවැය අවම කර ගැනීමටත් ටෙස්ලා සමාගම අපේක්ෂා කරයි. මේ හරහා දැනට චීන වෙළඳපොළේ පවතින Model 3 රථයේ මිලට වඩා (ඩොලර් 34,000) ඉතා අඩු මිලකට මෙම නව රථය ලබා දීම ඔවුන්ගේ අරමුණයි.
පසුගිය වසරේදී එලොන් මස්ක් විසින් අඩු පිරිවැය විද්‍යුත් රථ ව්‍යාපෘතිය (Model 2) තාවකාලිකව නතර කර ‘රොබෝටැක්සි’ (Robotaxi) සහ හියුමනොයිඩ් රොබෝවරුන් කෙරෙහි අවධානය යොමු කළද, මෙම නව SUV රථය හරහා නැවතත් පොදු වෙළඳපොළ ඉලක්ක කරගත් රථ නිෂ්පාදනයට ටෙස්ලා අවතීර්ණ වන බව පෙනී යයි. මීට අමතරව, මෙම රථය රියදුරෙකු සහිතව හෝ රියදුරු රහිතව (Autonomous) ධාවනය කළ හැකි පරිදි සකස් කිරීමට ද ඉඩ පවතින බව සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.














