ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ H-1B වීසා මත සේවය කරන ඉන්දියානු ජාතික තාක්ෂණික වෘත්තිකයෙකු සහ ඇමරිකානු ක්‍රියාකාරිනියක වන සාරා ගොන්සාලෙස් (Sara Gonzales) අතර ඇති වූ දැඩි උණුසුම් වාද විවාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයට ලක්ව තිබේ. විශේෂිත රැකියා වීසා කාණ්ඩයක් යටතේ ඇමරිකාවට පැමිණ සිටින පුද්ගලයෙකු නීති විරෝධී ලෙස ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට ඇය මෙහිදී චෝදනා කරයි.
සාරා ගොන්සාලෙස් පවසන්නේ ‘නවීන් තුම්මලා’ නැමැති මෙම පුද්ගලයා “Flexera Global Inc” ආයතනයේ සේවය කරන බව පවසමින් රහසිගතව “Golconda Xpress” නැමැති ඉන්දියානු ආහාර ට්‍රක් රථ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවයි. H-1B වීසා නීති අනුව අදාළ වීසා බලපත්‍රලාභියාට තමන් අනුමත කර ඇති රැකියාව හැර වෙනත් ව්‍යාපාරික කටයුතු හෝ රැකියා කිරීම තහනම් වේ.
කෙසේ වෙතත්, නවීන් තුම්මලා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ අදාළ ආහාර ට්‍රක් රථයේ හිමිකාරිත්වය තම බිරිඳ සතු බවත්, තමන් ඇයට තාක්ෂණික සහාය ලබා දීමට පමණක් පැමිණි බවත්ය. “මම මගේ බිරිඳට උදව් කරන එක වරදක්ද? මම මගේ අයිතිවාසිකම් සහ නීති රීති දන්නවා,” යනුවෙන් ඔහු එහිදී පවසා තිබේ. ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ විදේශිකයන්ගේ වීසා නීති සහ රැකියා පිළිබඳව එරට තුළ මෙවැනි දැඩි විමර්ශනාත්මක ප්‍රවණතාවක් මතුවෙමින් පවතී.














